ශ්‍රී ලංකා A, ඉන්දීය A සහ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරඟය ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම ලකුණු 245ට සියලු දෙනා දැවී ගියා.

වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා සිදුවූ අතර ඒ අනුව තරඟය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමට ලැබුණු ඉලක්කය පන්දුවාර  41 කදී ලකුණු 231ක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 28යි එක් පන්දුවකදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළා.

විශිෂ්ට පීතිහරඹයක යෙදුණු ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 79දී නොදැවී ලකුණු 108ක් ලබා ගත්තා.

හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් ඊට ඇතුළත්.

සදීර සමරවික්‍රම පන්දු 70ක දී නොදැවී ලකුණු 60ක් සහ නිරෝෂන් දික්වැල්ල පන්දු 19කදී වේගවත් ලකුණු 49ක් ලබා ගත්තා.

මෙම තරගාවලියේ මීට පෙර සහභාගී වූ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජය වූ අතර ඇෆ්ඝනිස්තානය ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට සමත්වුණා.

ඒ අනුව මේ වන විට කණ්ඩායම් තුනම සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ සම ලකුණු ලබාගෙනයි.

කෙසේ වෙතත් ශුද්ධ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පසුවනවා.

දෙවන තැන පසු වන්නේ ඉන්දීය A කණ්ඩායමයි.