ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැනඩාව සහ බොස්නියාව අතර තරඟය කරට කර උණුසුම් ගැටුමකින් පසු ගෝල 1-1 ක් ලෙස ලකුණු සම වීමෙන් අවසන් වුණා.
ශ්රී ලංකාවේ වේලාවෙන් අද අළුයම මෙම තරඟය පැවැත්වුණේ කැනඩාවේ ටොරොන්ටෝ ක්රීඩාංගණයේදී.
කැනඩාව, පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී පරාජයෙන් බේරුණු පළමු අවස්ථාව ද මෙය වනවා.
මීට පෙර 1986 සහ 2022 වසරවලදීද කැනඩාව, ලෝක කුසලාන තරගාවලීන් නියෝජනය කර ඇති නමුත් එම අවස්ථා දෙකේදීම ඔවුන් ක්රීඩා කළ සියලුම තරග පරාජයට පත්ව තිබුණා.
ඊයේ තරඟයේ පළමු ගෝලය ලබා ගත්තේ බොස්නියාවයි.
තරගයේ 21 වැනි මිනිත්තුවේදී ජෝවෝ ලුකික් හිසෙන් එල්ල කළ පහරකින් මෙම ගෝලය ලබා ගත්තා.
කැනඩාව තම ගෝලය ලබා ගත්තේ තරගයේ දෙවන අර්ධයේදි.
දෙවන අර්ධයේ දී කැනඩා ක්රීඩකයන් වඩාත් ආක්රමණශීලී ලෙස ක්රීඩා කළ අතර ගෝලය ලබා ගත්තේ සයිල් ලැරින් විසින්.
කැනඩා ක්රීඩකයන් තවත් අවස්ථා කිහිපයකදීම බොස්නියා ගෝලය ආසන්නයටම පන්දුව රැගෙන ගියත් ඔවුන් තවත් ගෝලයක් රැස් කිරීම බොස්නියානු ක්රිඩකයන් විසින් සාර්ථකව වළක්වනු ලැබුවා.




