සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වුණු තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 223 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ලන්ඩන් හි ඕවල් (The Oval) ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 355 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් වුණා.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ටොම් බැන්ටන් (Tom Banton) පන්දු 105 කදී වේගවත් ලකුණු 126 ක් රැස් කළ අතර, හැරී බෲක් ලකුණු 77 ක් සහ ජෝර්ඩන් කොක්ස් ලකුණු 76 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29 යි එක්  පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 132 ක් පමණයි.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ලියම් ඩෝසන් (Liam Dawson) ලකුණු 26 කට කඩුලු 03 ක් බිඳහෙළීමට සමත් වුණා.

ඒ අනුව තරග 03 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.