ශ්‍රී ලාංකික වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගගේ දක්ෂතා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක පැට් කමින්ස් පවසන්නේ, එෂාන් මාලිංගගෙන් තමන්ටද බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි වූ බවයි.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ලකුණු 55ක ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 255ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 200ක් පමණයි.
එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩක එෂාන් මාලිංග සහ සකීබ් හුසේන් වේග පන්දු යවන්නන් ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වූවා.
විශේෂයෙන්ම මන්දගාමී පන්දු යැවීමෙන් ඔවුන් බැංගලෝර් පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්කළ බවයි විචාරකයින් පවසන්නේ.
මෙවර IPL තරගාවලියේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ ද එෂාන් මාලිංගයි.
ඔහු තරග 14කදී කඩුලු 19ක් දවාගෙන තිබෙනවා.
මේ අතර, සිය මංගල IPL තරගාවලිය ක්‍රීඩා කරන සකීබ් හුසේන් තරග 10කදී කඩුලු 15ක් දවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ සන්රයිසර්ස් හයිද්‍රාබාද් නායක පැට් කමින්ස් සඳහන් කළේ, එෂාන් මාලිංග මෙවර තරගාවලියේ පවර් ප්ලේ අවස්ථාවලදී විශිෂ්ට පන්දු යැවීමක් සිදු කළ බවයි.
“එෂාන්ගේ මන්දගාමී පන්දු සහ විවිධ පන්දු යැවීමේ රටා අති විශිෂ්ටයි. නායකයෙකුට ඔහු වගේ පන්දු යවන්නෙක් ඉන්න එක හීනයක් වගේ” යනුවෙන්ද පැට් කමින්ස් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ජයග්‍රහණයත් සමඟ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු 18ක් ලබාගත්තා.
කෙසේ වෙතත් ශුද්ධ ලකුණු වේගය මත ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා.




