ජාතික මලල ක්‍රීඩා සංගමයට එරෙහිව අනුබද්ධ මලල ක්‍රීඩා සංගම් 9ක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත විරෝධතා පෙත්සමක් ගොනුකර ඇතැයි වාර්තා වනවා.
එහි පිටපතක් ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා වෙතද යොමු කර ඇති බවයි තතු දත් ආරංචි පැවසුවේ.
සුදුසු තීරණ ගැනීම සඳහා මලල ක්‍රීඩා විශේෂ මහා සභාවක් කැඳවන ලෙස මෙමගින් ඉල්ලා ඇතැයිද වාර්තා වනවා.
ජාතික මලල ක්‍රීඩා සංගමයට එරෙහිව මෙලෙස විරෝධතා පෙත්සමක් ගොනුකර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය, කුරුණෑගල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය, පුත්තලම දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලක් ක්‍රීඩා සමාජය, ට්‍රැක් මාස්ටර් ක්‍රීඩා සමාජය, ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය, සීටී ඇන්ඩ් එෆ්සී හා කළුතර මලල ක්‍රීඩා සංගමය විසින් බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.
ජාතික මලල ක්‍රීඩා සංගමය තේරී පත්ව ඇත්තේ ක්‍රීඩා රෙගුලාසි සහ උල්ලංඝනය කරමින් බවත්, එහි විධායක කමිටුව ගත වූ මාස කිහිපයේදී ක්‍රියා කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් ලිපියේ සඳහන්ව ඇතැයිද වාර්තා වනවා.
දක්ෂ යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුටම අසාධාරණයක් වන සේ ජාතික මඩල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇති බවට ඔවුන්ගේ පුහුණුකරුවන් පෙන්වා දී ඇතැයිද එහි සඳහන් වන බවයි පැවසෙන්නේ.
එවැනි අත්තනෝමතික තීරණ සහ ක්‍රියා නිසා මලල ක්‍රීඩාවේ අනාගතයට බලපෑම් සිදුව ඇතැයි ද ලිපියේ සඳහන් බවද පැවසෙනවා.
මෙම වසරේ ලෝකයේ පළමු කණ්ඩායම් 24 අතරට පැමිණි ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමට චීනයේ පැවති ලෝක සහාය දිවීමේ ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථා අහිමි කිරීම සහ දියගම ක්‍රීඩාංගණයේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අය - වැය ඇස්තමේන්තුව මලල ක්‍රීඩා විධායක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකිරීම විරෝධතා පෙත්සමෙන් නිශ්චිතව ඉදිරිපත් කර ඇති චෝදනා කිහිපයක්.
ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වීමේදී අදාළ සංචාර සඳහා වීසා බලපත් ගාස්තු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දැරිය යුතු බවට කර ඇතැයි කියන දැනුම් දීම තුළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපහසුතාවට පත්වන බවටද එමඟින් කරුණු දක්වා තිබෙනවා.




