Thursday, May 29, 2025

General line - 0115112241

කෙහෙල්බද්දර පද්මේට රට යන්න පාර කපා, හිරගෙට පාර කපාගත් පාස්පෝට් සහකාර පාලක

උදය කුමාර



විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අවිධිමත් ලෙස විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලට ආධාර අනුබල දුන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ  ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර ආගමන පාලක අරුණ සම්පත් රූපසිංහ නමැත්තායි. 

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට විදේශ ගමන් බලපත්‍ර දෙකක් නිකුත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළා. 

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රය 2024 වසරේ නොවැම්බර් මස 09 වනදා කල් ඉකුත් වීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 
 

ඊට අදාල ගමන් බලපත්‍රය නැවත යාවත්කාලීන කිරීමට බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඡායාරූප ශාලාවක් මගින් මාර්ග ගත ක්‍රමයට අයදුම්පත සඳහා ඡායාරූප යොමු කර තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී සඳහන් කළා. 

මෙම ඡායාරූප තිරුමැදුර නාලක සිල්වා නමැත්තකු විසින් යොමු කර තිබූ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් ඔහු මෙම නඩුකරයේ සැකකරුවකු වශයෙන් නම්කර ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
 

ඇඟිලි සලකුණු ලබා දීම සඳහා ද අයදුම්කරු භෞතිකව පෙනී සිට නොමැති බවත් වෙනත් අයෙකු මාර්ගයෙන් මාර්ගගත ක්‍රමයට ඒවා යොමු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි එම නිලධාරීන් සඳහන් කළේ. 

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක පාලක ජෙනරල්වරයාගේ ප්‍රකාශයක් සටන් කර ගැනීමෙන් පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
 

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන බව එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා. සැකකරුට ඇප ලබා දුනහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. 
 

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සැකකරු වසරක විස්සකට වැඩි කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටි අයෙකු බවයි. 

ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලසීමාව තුළ විදේශ ගමන් බලපත්‍ර එක් ලක්ෂ 53,654කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් සඳහන් කළා. 

ඒවා සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු  පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහු කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.
 

මෙම නීති විරෝධී ක්‍රියාවට මෙම සැකකරු සම්බන්ධ වී ඇති බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ. 

ඔහු මෙම නඩුවේ සැකකරුවකු නොව සාක්ෂිකරුවකු විය යුතු බවත් සැකකරු මෙම අපරාධයට සම්බන්ධ වී නොමැති හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. 
 

කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා. මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළදී කැඳවා තිබුණා.