හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැණුනා.
ඒ, අත්තනගල්ල, කරන්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබාදුන් රුපියල් කෝටි 12කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට අදාළවයි.
මෙම නඩු විභාගය පැවැත් වුණේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේයි.
නඩුව අද කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කේ.ජී.වී ඇන්ටනි පෙරේරා මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
ඉන් අනතුරුව විනිසුරුවරයා තීරණය කළේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 07 වනදා දක්වා කල් තැබීමටයි.
එදින නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.
චීන සමාගමකින් විසින් අත්තනගල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් මුදල් වෙන් කර තිබෙන බව නඩුවේ සඳහන් වනවා.
එසේ වෙන් කරන ලද රුපියල් දොලොස් කෝටී අනූ එක්දාස් පන්සීයක මුදලක් අවතැන් වූවන්ගේ සුබසාධන කටයුතුවලට නොයොදා 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්ති යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකාර සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.