Thursday, May 29, 2025

General line - 0115112241

බංග්ලාදේශයේ හමුදා ප්‍රධානියා මැතිවරණයක් ඉල්ලයි



පවතින දේශපාලන නොසන්සුන්තාව සහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පැහැදිලි සැලසුමක් ප්‍රකාශයට පත් කිරීමට අන්තර්වාර රජය අපොහොසත් වීම මධ්‍යයේ, බංග්ලාදේශ හමුදා ප්‍රධානී ජෙනරාල් වකාර්-උස්-සමාන් මේ වසරේ දෙසැම්බර් මාසය වන විට මැතිවරණය පැවැත්වීමට කැමැත්ත පළ කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

මැතිවරණ සම්බන්ධයෙන් තම ස්ථාවරය පෙර තිබූ ආකාරයටම පවතින බවත්, තේරී පත් වූ රජයකට රටේ ඉදිරි ගමන තීරණය කිරීමට අයිතියක් ඇති බවත් හමුදා ප්‍රධානියා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ඩකා අගනුවර  හමුදා නිලධාරීන් වෙනුවෙන් පැවති දේශනයේදීයි.

ඩකාහි ස්ථානගතව සිටින විවිධ මට්ටමේ යුද හමුදාවේ නිලධාරීන් ඊට සහභාගී වූ බව ද පැවසේ.

හිටපු අගමැතිනි ඛලීඩා ෂියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් දෙසැම්බර් මාසය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, අගමැතිනි ෂීක් හසීනා නෙරපා හැරීමට නායකත්වය දුන් බංග්ලාදේශ විශ්ව විද්‍යාල සිසුන්ගේ නායකත්වයෙන් යුත් නව පක්ෂයක් වන ජාතික පුරවැසි පක්ෂයට මැතිවරණයකට පෙර මූලික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පවසා තිබේ.