Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයින් බවට සැක පිරිස විශේෂ පරීක්ෂණයකට




නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් පස්දෙනෙකු මේ වනවිටත් කොළඹ IDH උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් හා විශේෂ පරීක්ෂාවන්ට ලක්කරමින් සිටිනවා.

ඒ අතර ඊයේ (26) රෝහලට ඇතුළත් කෙරුණු විදේශිකයින් දෙදෙනා ද වනවා. ඔවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙක්. 

ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය පැවසුවේ කටුනායක ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය ආසාදිත තත්වයක් ඇති බවට වූ සැකය මත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ IDH උණ රෝහල වෙත යොමු කළ බවයි. ඔවුන් දෙදෙනා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එක් අයෙකු 47 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් වන අතර එම ගුවන් යානයෙන්ම පැමිණි 37 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකුද මෙලෙස රෝහල් ගත කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කිරීම් සිදු කෙරෙන බවයි. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත IDH රෝහලට ඇතුළත් කෙරුණු තිදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව මූලික සාම්පල පරීක්ෂාවේදී ඊයේ (26) තහවුරු වුණා. බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසුවේ රෝගීන්ගේ සාම්පල පිළිබඳ ද්විතික මට්ටමෙන් රසායනාගාර පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බවයි.

ඔවුන් පිළිබඳ අද දිනය තුළ අවසන් වාර්තාවක් ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ. 

නව කොරෝනා වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීමේ හැකියාව පවතිනවා. කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මේ වනවිට විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා. ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ සියලු ජනතාව ස්වසන ආසාදන පාලනය සහ වළක්වා ගැනීම සඳහා ගත යුතු සාමාන්‍ය ක්‍රියා මාර්ග හෝ අනුගමනය කිරීම සුදුසු බවයි.