Tuesday, May 7, 2024

General line - 0115112241

ගාසාහි විපතට පත් වූ ළමුන් වෙනුවෙන් ජනපති ඇරඹි අරමුදලට දස දෙසින් මුදල්




ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසාහි ළමා අරමුදල සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම අද සිදු වුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

ඒ අනුව කල්මුණේ හුදා ජුම්මා පල්ලිය විසින් රුපියල් පහළොස් ලක්ෂ 89,000ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා ශාඛාව විසින් පරිත්‍යාග කළ මුදල රුපියල් පනස් තුන් ලක්ෂයක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින්ද රුපියල් තිස් එක් ලක්ෂ 28,500ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ස්පොර්ට්ස් ෆස්ට් පදනම විසින්ද රුපියල් ලක්ෂ තුනක මුදලක් එලෙස ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක්  පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාර දී තිබෙනවා.  

මේ අතර මෙම අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීමට අනුව විශාල මුදලක් මේ වන විට ලැබී ඇති බවත් එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් භාර දීමට නියමිත බවත් ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.