Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා දෙවන රැල්ල නිසා රටවල් රැසක නිරෝධායන නීති යළි දැඩි වෙයි 




නව්‍ය කොරෝනා වෛරසයේ දෙවන රැල්ල හේතුවෙන් ලොව රටවල් රැසක් යළි නිරෝධායන නීති දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. අමෙරිකාවේ වඩාත් ජනාකීර්ණම ප‍්‍රාන්තය ලෙස සැලකෙන කැලිෆෝනියාවේ සියලූම අවන්හල්, මත්පැන් අලෙවිසැල්, විනෝදාස්වාද ස්ථාන, කෞතුකාගාර සහ සත්වෝද්‍යාන වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. එමෙන්ම, ලොස් ඇන්ජලීස් සහ සැන්ඩියේගෝහි පාසල් ළමුන්ට අගෝස්තු මාසය අවසන් වනතෙක් නිවෙස්වල රැඳී සිටින ලෙස ද බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.

ඉන්දියාවේ බැංගලෝර් නගරයේ ප‍්‍රදේශ රැසක් මෙන්ම ඉරානයේ ටෙහෙරාන් අගනුවර ද දින 07 කාලයක් සංචරණ සීමා පනවා නිරෝධායන නීති දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හොංකොං රාජ්‍යයේ ද සමාජ දුරස්ථභාවයට අදාළ නීති රෙගුලාසි දැඩි කර තිබෙනවා. එමෙන්ම, හොංකොං ඩිස්නිලන්තය ද යළි වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. ලබන 24 වනදා සිට කි‍්‍රයාත්මක වන පරිදි එංගලන්තයේ වෙළඳසැල් තුළදී මුඛ ආවරණ භාවිතය ද අනිවාර්යය කර තිබෙනවා.

මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි තිස් දෙලක්ෂ 66,000 කට අධිකයි. ඒ අතරින් හැත්තෑහත්ලක්ෂ 32,800 කට අධික පිරිසක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව පන්ලක්ෂ 76,000 කට අධික බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.