Friday, April 26, 2024

General line - 0115112241

කෝලි ඉන්දීය විස්සයි 20 ක්‍රිකට් නායකත්වයෙන් සමු ගනී




ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි ඉන්දීය පන්දුවාර විස්සයි 20 නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන පන්දුවාර 20 ලෝක කුසළාන තරගාවලියෙන් පසු ඔහු ඉන්දීය නායකත්වයෙන් ඉවත් වනු ඇති. 

නිළ ප්‍රකාශයක් සිදු කරමින් කෝලි පවසන්නේ එක්දින සහ ටෙස්ට් තරගවලින් ඉන්දියාව ඉදිරියට ගෙන ඒමට තමාට පූර්ණ වශයෙන් සූදානම්වීමට ඉඩ ලබාදිය යුතු බවයි. එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම පන්දුවාර විස්සයි 20 යන තරග රටා තුනේම නායකත්වයේ වගකීම දැරීම එහිදී තමාට අසීරු බවයි කෝලි පවසන්නේ. 

මෙම තීරණය සම්බන්ධයෙන් තමා ඉන්දීය ක්‍රිකට් ආයතනය, තේරීම් කමිටුව, ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී සහ උප නායක රෝහිට් ෂර්මා සමග ද ඔහු සාකච්ඡා කර තිබෙනවා.

32 හැවිරිදි විරාත් කෝලිගේ නායකත්වය යටතේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉකුත් සමයේ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් හිමිකරගත්තා. කෝලිගේ නායකත්වය යටතේ විස්සයි 20 තරග 45 කින් 27 ක්ම ජය ගෙන තිබෙනවා. 

විස්සයි 20 තරග 30 කට වඩා වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති සාර්ථකම නායකයින් අතර කෝලි ලොව පසුවන්නේ තුන්වන ස්ථානයේයි. 2017 නායකයෙකු ලෙස පත්වීමෙන් පසුව ද ඔහු විස්සයි 20 තරගවලදී පිතිකරුවෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වා තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. එහිදී ඔහු ලකුණු 1,502 ක් රැස් කර ඇත්තේ 48 යි දශම 4 යි 5 ක සාමාන්‍යයක් ද රදවා ගනිමින්.