Thursday, May 2, 2024

General line - 0115112241

වැටුප් වැඩිකිරීමේ තීරණය ගත්තේ මීට මාස කීපයකට කලින්




රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් වන තීරණය රජය විසින් ගනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙර බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැටුප් ඉදිරි අයවැයෙන් ඉහළ දමනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙරට අවිධිමත් සේවා අංශයේ නියුතු සියලුම වෘත්තිකයින්ගේ ශ්‍රමයේ ආරක්ෂාව සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ “ගරු සරු” වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්  කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර එම අදහස් පලකළා.


මෙම ”ගරු සරු” වැඩසටහන මගින් පෞද්ගලික බස් රථ රියදුරු, බස්රථ සහායක, වෙනත් ප්‍රවාහන අංශ රියදුරු, ඉදිකිරීම් කාර්මික, ඉදිකිරීම් සහායක, ගෘහ සේවක, රූපලාවන්‍ය ශිල්පී, ස්වයං රැකියාවල නිරතවන්නන් ආදි සෑම රැකියාවකම ගෞරවය, ආරක්ෂාව හා පිළිගැනීම ගොඩනැගීම අපේක්ෂා කරනු ලබනවා.

මේ සඳහා ආරම්භ කර ඇති සාකච්ඡා මාලාව සඳහා පුරවැසි ප්‍රජාවගේ, අවිධිමත් හා විධිමත් අංශවල රැකියාවන්හි නියුතු වූවන්ගේ යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව මෙම වැඩසහටනේ ආරම්භය සනිටුහන් කරමින් අවිධිමත් සේවා අංශයේ නියුතු සියලුම වෘත්තිකයින්ගේ මහජන අදහස් විමසීමේ සැසිවාරයක්ද අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අද දින පැවැත්වුණා.