Sunday, April 28, 2024

General line - 0115112241

බංග්ලාදේශ නෞකාවක් පැහැර ගැනේ




සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් සිය භාරයට ගෙන ඇතැයි පැවසෙන බංග්ලාදේශ ධජය සතිය නෞකාවෙන් ඉන්දීය නාවික හමුදාව වෙත සංඥා ලැබී තිබෙනවා.

එම නෞකාවේ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 23 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම පිරිස සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ද වාර්තා වුණා.

එලෙස මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැර ගෙන ඇත්තේ බංග්ලාදේශයට අයත් එම්.වී අබ්දුල්ලා නමැති නෞකාවක්.

එය ගල් අඟුරු ටොන් 55,000 ක තොගයක් රැගෙන මොසැම්බික් රාජ්‍යයේ මාපුටෝ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යාත්‍රා කරමින් සිට තිබෙනවා.

එලෙස යාත්‍රා කරමින් තිබූ නෞකා මුහුදු මංකොල්ලකරුවන් විසින් ඉකුත් 12 වනදා පැහැර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

නෞකාවෙන් ලද සංඥාවෙන් පසු ඉන්දිය නාවික හමුදාව ඒ බව සොයා බැලීම සඳහා දිගු දුර සමුද්‍ර මුර සංචාර ගුවන් යානයක් වහාම යොදවා තිබුණා.

ඒ හරහා නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ තත්ත්වය දැන ගැනීම සඳහා සන්නිවේදනය ස්ථාපිත කිරීමට උත්සාහ කිරීමටයි ඉන්දීය නාවික හමුදාව උත්සහ කර තිබුණේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ නෞකාවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ඉන්දීය නාවික හමුදාව පැවසුවේ.

සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සඳහා යොදවා තිබූ යුද නෞකාවක් ද අදාළ මෙහෙයුම සඳහා යොදවා තිබූ බව ඉන්දීය නාවික හමුදාව පැවසුවා.

කෙසේවෙතත් සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි නෞකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් බංග්ලාදේශ ජාතිකයන් බවයි පැවසෙන්නේ.