Sunday, April 28, 2024

General line - 0115112241

හරක් කටා ඉල්ලූ සහන දියහැකිදැයි සොයා බලන්න අධිකරණයෙන් නීතිපතිට නියෝග

උදය කුමාර




අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා විසින් ඉල්ලා සිටින පහසුකම් ප්‍රදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලා අප්‍රේල් මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මෙම නියෝගය නිකුත් කළේ හරක් කටා නමැත්තා විසින් ඉදිරිපත් කළ මෝසමකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මේ වනවිට රැඳවුම් භාරයේ පසුවන තම සේවා දායකයා විසින් පහසුකම් කීපයක් ඉල්ලා සිටින බවයි.    

ඒ අනුව නීතිඥවරු හමුවී උපදෙස් ලබා දීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයෙකු වෙනුවෙන් ලබා දෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා වැඩි කරන ලෙසත්, විත්තිකරු රදවා සිටින ස්ථානයේ ආරක්ෂක කැමරා තිබේදැයි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, නියෝග නිකුත් කරන මෙන් විත්තිකරු ඉල්ලා සිටින බවයි ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේ.

එමෙන්ම විත්තිකරුව තංගල්ල රෝහලේ සර්වාංග වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා විත්තිකරුගේ මව, පියා සහ බිරිද හමුවීම සදහා දැනට  ලබාදෙන විනාඩි 15 ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසත් තම දරුවා සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඊට අමතරව විත්තිකරුට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු විසින් ඉදිරිපත් කරනු ලබන පහසුකම් අතුරින් ලබා දිය හැකි ඒවා කවරේ දැයි කරුණු පරීක්ෂා කර බලා අප්‍රේල් මස 08 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස රජයේ නීතිඥ සජිත් බණ්ඩාරට එහිදී නියෝග කළ බව නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළා.