Thursday, May 2, 2024

General line - 0115112241

මියන්ඩාඩ්ගේ වාර්තාව සමකිරීම ගැන කමිදු කතා කරයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.

ඊයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස්කරගෙන සිටියා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 531ට පිලිතුරු ලෙසයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස්කළ අතර කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස අසිත ප්‍රනාන්දු දුවද්දී දැවීයාමකට හසුවුණා.

ඒ හේතුවෙන් කමිඳු මෙන්ඩිස්ට පිට පිටම තුන්වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ අවස්ථාව ගිලිහී ගියා. 

කෙසේවෙතත් කමිඳු මෙන්ඩිස් මෙම තරඟයේදී නොදෙවී රැස්කළ ලකුණු 92ත් සමඟ වසර 48ක් පැරණි ටෙස්ට් වාර්තාවක් සමකිරීමට සමත්වීම විශේෂත්වයක්.

කමිඳු එලෙස සමකරනු ලැබුවේ කිසියම් ක්‍රීඩකයෙකු සිය පළමු ටෙස්ට් ඉනිම හතරකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි.

මීට පෙර 1976 වසරේදී හිටපු පාකිස්ථාන සුපිරි පිතිකරු ජාවෙඩ් මියැන්ඩාඩ් සිය පළමු ටෙස්ට් ඉනිම් හතරේදී ලකුණු 419ක් රැස්කර ගනිමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

කමිඳු මෙන්ඩිස් ඔස්ටේ්‍රලියාවට එරෙහිව 2022 වසරේදී සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රිඩා කළ අතර එහි පළමු ඉනිමේදී ලකුණු 61ක් රැස්කළා. 

ශ්‍රි ලංකා කණ්ඩායම එම තරඟය ඉනිමකින් ජයගැනීම හේතුවෙන් ඔහුට එම තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට හැකිවුණේ නැහැ.

කමිඳු සහභාගිවූ දෙවන ටෙස්ට් තරඟය වූයේ මෙවර බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයයි.

එම තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 102ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 164ක් රැස්කිරීමට ඔහු සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේවන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී නොැදවී රැස්කළ ලකුණු 92ත් සමඟ ටෙස්ට් ඉනිම හතරකදී ඔහු රැස්කරගෙන ඇති මුලු ලකුණු සංඛ්‍යාව 419ක්.

ඒ අනුව, 1976 වසරේදී සුපිරි පිතිකරු ජාවෙඩ් මියැන්ඩාඩ් පිහිටුවා තිබූ එම වාර්තාව සමකිරීමට කමිඳුට හැකි වුණා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේ ඊයේ දිනයේ තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මෙම වාර්තාව පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කමිඳුගෙන් ප්‍රශ්න කළා.

එහිදී ඔහු කියා සිටියේ තමන් එවැනි වාර්තාවක් සම්බන්ධයෙන් පිටියේ සිටින අවස්ථාවේ දැන නොසිටි බවයි.