Wednesday, May 1, 2024

General line - 0115112241

යුද්ධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක්




නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුධ හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

යුද හමුදාව පැවසුවේ  දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින එම සාමාජිකයින් හට ලබන 20 වනදා  සිට  මැයි මස 20 වනදා  දක්වා එලෙස පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

එම පොදු සමා කාලය තුල තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් ඔවුන්ට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව සැලසෙනවා. 

ඒ අනුව පසුගිය අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකල නිලධාරි හා සෙසුනිළයින් අදාළ ලිපි ලේඛණ සමගින්  තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් රපෝර්තු කල යුතුයි. එහිදි අස්කිරීමේ මූලික පාලන කටයුතු පැය 72 ක කාලසීමාවක් තුල සිදුකර යුද්ධ හමුදා සේවයෙන් නීත්‍යානූකූලව ඉවත් වීම සඳහා කටයුතු සලසන බවයි යුද හමුදාව පැවසුවේ.

ඔවුන් පහත සදහන් ලියකියවිලි ද රැගෙන ආ යුතු බවද යුද හමුදාව වැඩි දුරටත් පැවසුවා. 

    අ.    යුද්ධ හමුදා හැඳුනුම්පත (යුද්ධ හමුදා හැඳුනුම්පත අස්ථානගතව ඇත්නම් මෑතකදී ලබාගන්නා     ලද පොලිස් වාර්ථාවක පිටපතක්).


    ආ.    ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්.


    ඇ.    වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායා පිටපතක්.


    ඈ.    අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායා පිටපතක් 
    (ඇත්නම් පමණක්)