Thursday, May 2, 2024

General line - 0115112241

පාලිත තෙවරප්පෙරුමගේ අභාවයට උතුරේ තරුණයන්ගේද ශෝකය

     මාධව කුලසූරිය , සම්පත් කුලරත්න




අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ වියෝව වෙනුවෙන් වවුනියාවේදී තරුණයින් පිරිසක් ශෝකය පළ කර තිබෙනවා.

ඔවුන් පාලිත තෙවරප්පෙරුම මහතාගේ ජායාරූප සහිත බැනරයකට මල්පුදා පහන් දල්වා සිය ශෝකය පළ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඊට එම ප්‍රදේශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් තරුණ පිරිසක් එක්ව තිබෙනවා.

පාලිත තෙවරප්පෙරුම මහතා යනු ජනතාව වෙනුවෙන්ම කැපවූ මෑත ඉතිහාසයේ බිහි වු දේශපාලඥයෙකු බැවින් තමන් ඔහුට එලෙස  ශෝකය පළ කළ බවද එම තරුණයින් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ අභාවය වෙනුවෙන් උතුරේ තරුණයින් දුක්වන බවද එම තරුණයන් කියා සිටියා.

දකුණේ බිහි වු දේශපාලඥයෙකු වෙනුවෙන් උතුරේ තරුණයින් සංවේදී වු පළමු අවස්ථාව මෙය වන බවද එම තරුණයන් වැඩිදුරටත් පැවසුවා.

මේ අතර අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා.

මේ වන විටත් පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් මතුගම, යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණෙමින් සිටිනවා.

ඒ පිළිබඳ තවත් තොරතුරු ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබෙන නිවසේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු සම්පත් කුලරත්න.