Saturday, May 4, 2024

General line - 0115112241

දිස්ත‍්‍රික්ක 11 කට ඩෙංගු රෝගය පැතීරීමේ අවදානමක්




ඩෙංගු රෝගය පැතිර යන අවදානම් දිස්ත‍්‍රික්ක 11 ක් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

 කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව, ත‍්‍රීකුණාමලය, යාපනය, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කයි මෙලෙස ඩෙංගු රෝගය පැතිර යන අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස නම්කර ඇත්තේ. 

දැනට සිදු කෙරුණු කීට විද්‍යා සමීක්ෂණ දත්තවලට අනූව ආයතන, පාසල්, ඉදිකිරීම් පරිශ‍්‍ර සහ ආගමික ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවදානමක් පවතිනවා. 

මේ අතර ඩෙංගු මර්දන සතිය ආරම්භ වූ ඊයේ දිනයේ දී පමණක් ඩෙංගු මදුරුවන් බෝවන අකාරයෙන් පරිශ‍්‍ර පවත්වාගෙන ගිය පන්සිය හැත්තෑ තුන් දෙනෙකුට නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තා. 

මෙහි දී දිවයිනේ පරිශ‍්‍ර අසූ තුන්දහසකට අධික සංඛ්‍යාවක් පරික්ෂාවට ලක් කෙරුණු අතර ඉන් මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර එක්දහස් පන්සිය හතලිස් දෙකක් හදුනා ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. 

මදුරුවන් බෝවිය හැකි දොලොස් දහසකට අධික පරිශ‍්‍ර සංඛ්‍යාවක් නිවැරදි කිරීමට ද මෙහි දී පියවර ගත්තා. 

ඩෙංගු මදුරුවන් බෝවන අකාරයෙන් පරිශ‍්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින්  තුන්දහස් තුන්සිය අසූ නව දෙනෙකුට මෙහි දී නොතීසි නිකුත් කෙරුණා. මදුරු මර්දන සතිය ලබන 04 වැනි දා දක්වා ක‍්‍රියාත්මක අතර ඒ සදහා ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන්ගෙන් සැදුම්ලත් තුන්දහසකට පිරිසක් එක්ව සිටිනවා.