Friday, May 3, 2024

General line - 0115112241

මුස්ලිම් නොවන අයටත් ශරියා නීතිය!




 "ම්ලේච්ඡ" දඬුවම් පැමිණවීම් වහා නතර කරන මෙන් මානව හිමිකම් සඳහා වන 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇතැයි බීබීසීය පවසනවා. පසුගිය දෙවසර ඇතුළත ඉන්දුනීසියාවේ 500කට අධික පිරිසකට ශාරියා නීතියට අනුව ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දී ඇති බවයි එහි සඳහන් වන්නේ

සමලිංගිකත්වය ඉන්දුනීසියානු නීතියෙන් තහනම් කර නොමැති නමුත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මීට දශකයකට පමණ පෙර සිට අචේ ප්‍රාන්තයට විශේෂ බලතල ලබා දී තිබෙනවා. ශාරියා නීතිය ක්‍රියාත්මක වන එරට එකම පළාත 'අචේ' ප්‍රාන්තය යි. අචේ ප්‍රාන්තය තුළ ශාරියා පොලිසියක් ද ක්‍රියාත්මක වනවා.

විවාහයෙන් පිටස්තරව සිදුවන ලිංගික සබඳතා සහ සමලිංගික සබඳතාවලට ශාරියා නීතිය යටතේ දඬුවම් පැමිණවිය යුතු බවට 2015 ඔක්තෝම්බර් මාසයේ දී අචේ බලධාරීහු නව ඉස්ලාමීය නීති සංග්‍රහයක් අනුමත කරගෙන තිබෙනවා. ඒ අනුව සමලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් කස පහර 100ක දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දෙනවා. එමෙන්ම විවාහයෙන් පිටස්තරව ලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් ඔහුට හෝ ඇයට ප්‍රසිද්ධියේ කස පහර 30ක් ලබාදෙනවා.

මෙම දැඩි නීති මෙන්ම මත්පැන් පානයට සහ සූදුවට එරෙහිව පවතින ශාරියා නීති ද මුස්ලිම් නොවන ජනතාවට පවා ක්‍රියාත්මක කළහැකිවන පරිදි දීර්ඝ කර ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවනවා.