වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා ලබාදෙන, මේ වන විට ආන්දෝලනයක් ඇති කර ඇති “ඔන්ඩන් සෙට්රෝන්” නැමැති එන්නත සම්බන්ධයෙන් මේ වන විටත් පරික්‍ෂණ කිහිපයක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

මෙම එන්නත සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුවුණේ කොළඹ අයි ඩී එච් රෝහලේ රෝගීන් දෙදෙනෙකු මිය ගිය බව කියන සිද්ධිය සමගයි.

එම මරණ සිදු වූයේ “ඔන්ඩන් සෙට්රෝන්” නැමැති එන්නත හේතුවෙන්දැයි මෙතෙක් නිෂ්චිතව තහවුරු කර නැහැ.

ඒ අනුවයි ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරික්‍ෂණ ක්‍රියාත්මක වන්නේ.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අදාළ ඇතැම් පරිජෂණ වාර්තා ලැබීමට දින කිහිපයක් ගත වනු ඇති බවයි.

එන්නත් ගෙන්වීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද තවත් පරික්‍ෂණයක් ක්‍රියාත්මකයි.

ඒ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රධානත්වයෙන්. එම කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදීමට නියමිතයි.

අදාළ ඖෂධය ගෙන්වීමට සම්බන්ධ පාර්ශව පිළිබඳ නීතිමය පියවර ගන්නේ එම වාර්තා ලැබීමෙන් පසුව බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

මේ අතර, මතභේදාත්මක “ඔන්ඩන් සෙට්රෝන්” නැමැති එන්නත සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරීක්ෂා කරන ලෙස අදාළ ඉන්දීය සමාගම මෙරට සෞඛ්‍ය බලධාරීන් වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇති බවද සඳහන්.