Tuesday, May 13, 2025

General line - 0115112241

වෙසක් සිරි නැරඹූ ජනතාව පීඩාවට පත් කරමින් ධාවනය කළ යතුරු පැදි 65ක් පොලිස් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන්



ජනතාව භීතියට පත් කරමින් යතුරු පැදි ධාවනය කරමින් ඊයේ දිනයේ වෙසක් සිරි නැරඹීමට ගිය යතුරු පැදිකරුවන් 36ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මාතර පොලීසිය විසින්. ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස් කිරීම් සහ යතුරුපැදි සඳහා අමතර කොටස් සවි කරමින් රථවාහන නීති උල්ලංඝනය කළ යතුරුපැදි 36ක් ද එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

අදාළ යතුරුපැදි 36 පොලිස් භාරයට ගෙන ඇත්තේ රථවාහන අනතුරු වළක්වා ගැනීම සඳහා මාතර මූලස්ථාන පොලීසිය විසින් ඊයේ දිනයේ මාතර නගරයේදී සිදුකල රථවාහන පරීක්ෂාවකදීයි. 

අත්අඩංගුවට ගත් යතුරු පැදිකරුවන් විවිධ නාද රටා සහිත අමතර උපාංග සවිකර, නීති රැසක් උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් කර තිබෙනවා. 

එම යතුරු පැදිකරුවන්ගෙන් බහුතරයක් පුහුණු වීමේ රියදුරු බලපත්‍රය සහිත වයස අවුරුදු 18ත් 20ත් අතර ගාල්ල, වැලිගම, අකුරැස්ස, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පැවසුවා. 

පොලිස් භාරයට ගත් යතුරුපැදි, මෝටර් රථ කොමසාරිස්වරයා හමුවට ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර නීති විරෝධී අයුරින් අමතර කොටස් ආනයනය කර එකලස් කළ අධිබලැති යතුරුපැදි 04ක් හා යතුරුපැදි 16ක් සමග තරුණයන් 19 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, බණ්ඩාරගම පොලීසිය විසින්. 

අත්අඩංගුවට ගත් යතුරුපැදි රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනාකමින් යුත් බවයි පොලීසිය පැවසුවේ.

වෙසක් සිරි නැරඹීමට යමින් සිටි ජනතාවට සහ මාර්ගයේ ගමන් ගත් වාහනවලට පීඩාවක් වන අයුරින් අධික ශබ්ද නගනිමින් අදාළ තරුණයන් එම යතුරුපැදි ධාවනය කර තිබෙනවා. 

අධිබලැති යතුරුපැදි හතරෙහි ලියාපදිංචි අංක තහඩු පරික්ෂා කිරීමේදී ඒවා සැක කටයුතු බවට අනාවරණය වී තිබෙනවා. 

පොලීසිය විසින් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පොලිස් භාරයට ගත් අනෙක් යතුරුපැදිවල නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ ශබ්ද නගන වෙනත් කොටස් බද්ධ කර තිබූ බවයි. 

අත්අඩංගුවට ගත් තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම ඉංගිරිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. කෙසේවෙතත් එම පිරිස මේ වන විට පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඉදිරි දිනයකදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.