Friday, April 26, 2024

General line - 0115112241

ජනපති මිත්‍ර රටවල සහාය පතයි




නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජපානයේ “නික්කෙයි” පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධාන කරනවා. දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “බෙදීගිය ලෝකයක ආසියාවේ භූමිකාව නැවත අර්ථ දැක්වීම” යන්නයි. 

ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. වර්තමාන ජාතික අර්බුදයට විසඳුම් එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන්ම ක්‍රියාත්මකවීම ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා එම සමුළුවේදී සඳහන් කළේ. 

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල පහත වැටීම, දරුණු මූල්‍ය අර්බුදයක් ඇතිවීම සහ ශ්‍රී ලංකාවේ ඉහළ ණයබර සමග ඒකාබද්ධ වූ අනෙකුත් සිදුවීම් හේතුවෙන් උද්ධමනය සිදු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුදුසු වැඩසටහනක් වෙත යොමුවීමට සමගාමීව ණය හිමියන් සමග සාකච්ඡා කර බාහිර රාජ්‍යයන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිප්‍රාය ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී “ණය ගෙවීමෙන් නැවතී සිටීමක්” නිවේදනය කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 

කෙසේ වෙතත්, මෙවැනි විසඳුම් හරහා කටයුතු කරන විට අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට මිත්‍ර  රටවල සහාය ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. ජපානයෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය සඳහා දරණ උත්සාහයට ජපානයේ සහාය හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ.