Sunday, April 28, 2024

General line - 0115112241

මාරියම් නවාස් ප්‍රධාන අමාත්‍යවරිය ලෙස පත්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක දැඩි අවධානය




පකිස්තානයේ පන්ජාබ් හි නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස මාරියම් නවාස් තේරී පත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල මෙන්ම මානව හිමිකම් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුව වන්නේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වන ස්ත්‍රී දූෂණ සහ කාන්තා හිංසන වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබීමයි.

එවන් පසුබිමක් තුළ කාන්තාවකට ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධූරය හිමිවීම අභියෝගයක් නොවන්නේ දැයි කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පන්ජාබයෙන් වාර්තා වන බිය කරු බව ඇති කරන කාන්තා හිංසන සම්බන්ධ සංඛ්‍යාලේඛන කෙරෙහි මාරියම් නවාස් දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

සාහිල් නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවකට අනුව, පසුගිය වසරේ පකිස්තානය තුළ ළමුන් 4200 කට අධික සංඛ්‍යාවක් විවිධ ආකාරයේ අපයෝජනයන්ට ලක්ව තිබෙනවා.

ඒ අතරින් දිනකට අපයෝජනයට ලක්ව ඇති  ළමුන් සංඛ්‍යාව 11 ක් බවයි එහි දැක්වෙන්නේ.
 
ඉකුත් වසරේ පකිස්තානයේදී අපයෝජනයට ලක්වූ දරුවන් අතරින් අඩකට වඩා ගැහැණු ළමයින් වන අතර එම සංඛ්‍යාව 2250 කට අධිකයි.

එම සංඛ්‍යාවෙන් වඩාත්ම අවදානමට ලක්ව ඇත්තේ අවුරුදු 6 සිට 15 දක්වා වයස් කාණ්ඩවල පසුවන ගැහැණු දරුවන්.

එමෙන්ම එලෙස අපයෝජනයට ලක්වූ ගැහැණු දරුවන් අතර වයස අවුරුද්දට අඩු දරුවන් ද පසුවන බවට අනාවරණ වුණා.

පකිස්තානයේ ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ පන්ජාබ් ප්‍රාන්තයෙන්.

ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ පාලකයන්ගේ පවතින දුර්වලතා සහ නීතියේ හිඩැස් හේතුවෙන් එම ප්‍රාන්තය තුළ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

කාන්තාවන් දූෂණයට ලක්වීම සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන සිදුවීම් වල වැඩිවීමක් පවතින්නේ පන්ජාබ් ප්‍රාන්තයේයි.

වාර්තා අනුව වසර හතරක් තුළ පන්ජාබ්හි කාන්තාවන් 21,900 ක් දූෂණයට ලක් ව තිබෙනවා.

එම ප්‍රාන්තය තුළ දිනකට කාන්තාවන් 12 දෙනෙකු දූෂණයට ලක්වන බවත්, සෑම පැය දෙකකට වරක් එක් කාන්තාවක් පහරදීම්වලට ලක්වන බවත් සංඛ්‍යාලේඛණ අනාවරණ කරනවා.

පකිස්තානයේ පන්ජාබ් හි නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස තේරී පත්වූ මාරියම් නවාස් යනු පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණියයි.