Sunday, April 28, 2024

General line - 0115112241

ශානි අබේසේකරගේ ආරක්ෂාව වැඩි කරන්න අධිකරණයෙන් නියෝගයක්




ජීවිත තර්ජනයකට ලක්වී සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට දැනට ලබාදී ඇති ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද ආරක්ෂක බලධාරීන්ට නියෝග කළා.

ඒ, ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගොනු කළ රීට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චිගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී  වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තාව අවශ්‍ය පියවර ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබෙන බව සඳහන් කළා.

ඊට අදාළව සුදුසු පියවර ගැනීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මාසයක කාලයක් ගතවන විට තම සේවා දායකයාට කුමක් සිදුවේදැයි සිතාගත නොහැකි තත්ත්වයක් පවතින බවයි.

තම සේවාදායකයාට මේ වන විට ආරක්ෂාව සඳහා ලබාදී තිබෙන්නේ එක් පොලිස් නිලධාරියකු හා එක් යතුරු පැදියක් පමණක් බවත්, එය ඔහුගේ ආරක්ෂාවට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම යළි ජනවාරි මස 18 වනදා කැදවීමට නියෝග කළා.

එදින තෙක් දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අමතරව අතිරේක ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසද අධිකරණය ආරක්ෂක බලධාරීන්ට නියෝග කරනු ලැබුවා.