Monday, May 6, 2024

General line - 0115112241

නඩුව අවසන් වන තෙක් මෛත්‍රීට සභාපති පුටුව තහනම්

උදය කුමාර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර, 2022 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් ලබාදුන් නියෝගයකට අනුවයි. 

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ 2019 සහ 2021 වසර වල පක්ෂයේ විධායක සභාව පත්වූ ආකාරය පිළිබඳ පෙත්සම්කරු අභියෝගයට ලක් කර තිබෙන බවයි.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීන්දු කළ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන්.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව ඔවුන් විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේයි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝග නිකුත් කළේ.

මෙම නඩුව අද විරෝධතා ගොනු කිරීම සඳහා කැඳවනු ලැබූවද විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස විත්ති පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව විරෝධතා ගොනු කිරීම සඳහා විත්ති පාර්ශ්වයට මැයි මස 08 වන දා දක්වා කල් ලබාදුන් දිසා විනිසුරුවරයා එදින නඩුව යළි කැඳවන ලෙසත් නියෝග කළා.