Friday, May 17, 2024

General line - 0115112241

හෙට මැයි දිනයට අද සිට කොළඹට විශේෂ ආරක්ෂාවක්




හෙට දිනයට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සහ රැලි සඳහා මේවන විට කටයුතු සූදානම් කරමින් තිබෙනවා.

මැයි රැලි වෙනුවෙන් වේදිකා ඉදිකිරීම අද මධ්‍යහව 12න් පසුව ආරම්භ කිරීමට නියමිතයි.

එහි මූලික කටයුතු මේවන විටත් සිදුවන බවයි කොළඹ නගරයේ සංචාරය කළ නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකි වුණේ.

මෙවර මැයි දිනය වෙනුවෙන් දිවයින පුරා රැලි සහ පෙළපාලි පොලිස් කොට්ඨාස 19ක පොලිස් වසම් 35ක් අවරණය වන පරිදි සංවිධානය කර තිබෙනවා.

සංවිධානය වන රැලි සහ පෙළපාලි සංඛ්‍යාව 40ක්.

මැයි පෙළපාලි නොමැතිව මැයි රැලි 19ක් ද පැවැත්වීමට නියමිතයි.

මැයි දින පෙළපාලි 21ක් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

සංවිධාන කර ඇති මැයි දින සැමරුම් උත්සව සංඛ්‍යාව 19ක්.

මෙවර මැයි දිනය වෙනුවෙන් ප්‍රධාන රැලි සහ පෙළපාලි පැවැත්වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින්.

ඒ අනුව අද සිට කොළඹ නගරය ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ සාමාන්‍ය දිනයකට වඩා අද දිනයේ දෛනික මුර සංචාර වැඩිකර ඇති බවයි.

එමෙන්ම වේදිකා ඉදිවන ස්ථාන ආශ්‍රිතවද ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළා.  

මැයි දිනය තුළ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳ සම්බන්ධීකරණය සඳහා ඊයේ පස්වරුවේ සිට අනිද්දා උදෑසන වන තෙක් විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක්ද ස්ථාපිත කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සිය මැයි දින රැලිය පී ඩී සිරිසේන ක්‍රීඩාංගනය ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය මැයි රැලිය පවත්වන්නේ කැම්බල් ක්‍රීඩාංගනයේදියි.

සමගි ජන බලවේගය පහළ චැතැම් වීදිය ආශ්‍රිතවද ජාතික ජන බලවේගය කන්නංගර මාවතේ උපාලි හෝටලය ඉදිරිපිටද සිය මැයි රැලිය සංවිධානය කර තිබෙනවා.