Tuesday, April 30, 2024

General line - 0115112241

අවුරුද්දට ගමේ ගිය අය කොළඹ එන්න මැලි වෙයි

පාලිත ආරියවංශ-කමල් සුරවීර-මාධව කුලසූරිය-රවීන්ද්‍ර චන්ද්‍රලාල




සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාව ආපසු කොළඹ සහ සෙසු නගර වෙත පැමිණීමේ අඩුවක්තවමත් දක්නට ලැබෙන බව ප්‍රවාහන බලධාරින් පවසනවා.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ ඊයේ සහ අද දිනවල අපේක්ෂා කළ තරම් මගීන් පිරිසක් කොළඹ සහ අනෙකුත් නගර වෙත නොපැමිණි බවයි.

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් පුද්ගලයින් ලක්ෂ 06කට වැඩි පිරිසක් කොළඹ නගරයේ සිට පිට පළාත්වලට ගියද එම පිරිසෙන් මෙතෙක් යළි නගරයට පැමිණ ඇත්තේ ලක්ෂයක පමණ පිරිසක් බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ගම්බිම් බලා ගිය වැඩි පිරිසක් අද පස්වරු කාලයේදී සහ හෙට උදෑසන කොළඹ සහ තදාසන්න නගර වෙත නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා. 

දුම්රිය සහ බස් රථවල අද පෙරවරු කාලයේ එතරම් වැඩි මගීන් පිරිසක් දක්නට නොලැබුනු බව නෙත් නිවුස් වාර්තාකරුවන්ද පැවසුවා.

බදුල්ල නගරයේ අද උදෑසන පැවැති තත්ත්වය පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශගෙන්.


මහනුවර නගරයේද අද උදෑසන කාලයේ මගීන් වැඩි වශයෙන් දක්නට නොලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ. 


ගාල්ල නගරයේ පැවැති තත්ත්වය පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.


උතුරු පළාතේ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ මෙම වාර්තාව වවුනියාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.


මේ අතර අද උදෑසන ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ගමන් වාර 11ක් අවලංගු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එලෙස දුම්රිය ගමන් වාර 11ක් අවලංගු වූ බවයි.

මොරටුව, පානදුර, වාද්දූව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම යන දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන කාර්යාල දුම්රියන් 11ක් එලෙස අවලංගු වූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.