Tuesday, April 30, 2024

General line - 0115112241

පැය 24කදී විෂ මත්ද්‍රව්‍ය සමග සැකකරුන් 505ක් අත්අඩංගුවට




බොහෝ දෙනෙකු මේ වන විට පොලීසිය පිළිබඳ බලාපොරොත්තු තැබීමට සහ හොඳ කතා කිරීමට පෙළඹී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පෙලීසිය පිළිබඳ ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ගොඩනැගීම දක්නට ලැබීම සතුටට කරුණක් බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.

ආයතනයක් ලෙස ඉදිරියට යෑමට නම් පොලීසියේ යහපත් රාජකාරි තව තවත් ප්‍රවර්ධනය කළ යුතු බවද ඔහු කියා සිටියා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා. 

මේ අතර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 505 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඊයේ දිනය තුළ දිවයින පුරා වැටලීම් 508ක් සිදු කර ඇති බවයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වරෙන්තුකරුවන් 25 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. 

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 104ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 81ක් සහ ගංජා ග්‍රෑම් 154ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

බස්නාහිර පළාත තුළ ඊයේ දිනයේදී සිදු කර ඇති මුළු වැටලීම් ගණන 344ක්.

එහිදී සැකකරුවන් 341 දෙනෙකු සහ සැකකාරියන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ දිනය තුළ දකුණු පළාත ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 07ක් සහ ගංජා ග්‍රෑම් 1,242ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දකුණු පළාත තුළ ඊයේ දිනයේදී සිදු කර ඇති මුළු වැටලීම් ගණන 43ක්.

එහිදී සැකකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.