Monday, April 29, 2024

General line - 0115112241

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2023 ප්‍රථම කාර්තුවේදීත් විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි




ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදීත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. අභියෝගකාරී මෙහෙයුම් පරිසරයක් තුළ තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සිදු වුවද, සියලුම ප්‍රධාන දර්ශක සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් වාර්තා කරගැනීම තුළින් ආයතනය හා සබැඳි සියළු පාර්ශවකරුවන් වෙත වටිනාකම් එකතු කිරීමට ආයතනය දරන අප්‍රතිහත කැපවීම පෙන්නුම් කරනු ලැබේ.

පෙර වසරේ පළමු කාර්තුව තුළ රු. මිලියන 279 ක් වූ සමාගමේ බදු පෙර ලාභය, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ 117% කින් වර්ධනය වී, රු. මිලියන 605 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය සමාගමේ ක්‍රමෝපායික හැකියාවන්ට මෙන්ම වෙළඳපොළ අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට සමත් වීම සම්බන්ධ මනා සාක්ෂියකි. තවද, අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම තිරසාර වර්ධනය කෙරෙහි අවධානය යොමුකිරීම හේතුවෙන්, සමාගමේ සමස්ත ශුද්ධ ආදායම පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 4.7 මට්ටමේ සිට 2023 පළමු කාර්තුව අවසානයේදී රු. බිලියන 6.5 දක්වා 37% කින් වර්ධනය වී ඇත. පෙර වසරේ අදාළ කාලසීමාව තුළ රු. බිලියන 1.4 ක් වූ සමාගමේ ශුද්ධ ආයෝජන ආදායමද මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේදී රු. බිලියන 2.4 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ආයෝජන කළමනාකරණය සම්බන්ධයෙන් සමාගම සතු විශේෂඥ දැනුම මෙන්ම රක්ෂණ හිමියන්ට සහ කොටස් හිමියන්ට ඉහළ ප්‍රතිලාභ ලබා දීමට ඇති හැකියාවට සාක්ෂි දරයි. සමාගමේ දළ වාරික එකතුව රු. බිලියන 3.9 සිට රු. බිලියන 4.2 දක්වාද, ශුද්ධ වාරික එකතුව රු. බිලියන 3.8 සිට රු. බිලියන 3.9 දක්වාද ඉහළ ගොස් ඇත. 4.8% ක් වන මෙම දළ වාරික එකතුවේ වර්ධනය, 2023 ප්‍රථම කාර්තුව තුළ මෙරට රක්ෂණ ක්ෂේත්‍රය වාර්තා කළ සාමාන්‍යයට වඩා ඉහළ අගයකි. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයද, 2022 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ රු. බිලියන 16.4 ට සාපේක්ෂව රු. බිලියන 19.4 දක්වා 18% කින් වර්ධනය වී ඇත. එමෙන්ම තම වගකීම් නොපිරිහෙළා ඉටුකරමින්, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ හිමිකම් මුදල් වශයෙන් රු. බිලියන 1.4 ක මුදලක් ගෙවූ යූනියන් ඇෂුවරන්ස් සමාගම, මෙම කාර්තුවේදී රු. බිලියන 1.6 ක මුදලක් ගෙවා තිබේ.

යූනියන් ඇෂුවරන්ස් සමාගම පෙන්නුම් කර ඇති විශිෂ්ට මෙහෙයුම් ක්‍රියාකාරීත්වය, එහි සාර්ථකත්වයට කැපීපෙනෙන දායකත්වයක් දක්වා ඇත. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමාගමේ මෙහෙයුම් ලාභය රු. මිලියන 240 සිට රු. මිලියන 534 දක්වා 122% කින් වර්ධනය වර්ධනය වී ඇති අතර, කොටසක් සඳහා ඉපැයුමද රු. 0.37 සිට රු. 0.75 දක්වා 105% කින් වර්ධනය වී තිබේ. පෙර වසර අවසානයේදී රු. බිලියන 76 ක් වූ සමාගමේ වත්කම්වල මුළු වටිනාකම, 2023 මාර්තු මාසයේ අවසානය වන විට රු. බිලියන 79 දක්වා වර්ධනය වී ඇත. මාර්තු මාසයේ අවසානය වන විට සමාගමේ ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය 245% ක් වූ අතර, එය අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා පැහැදිලි ලෙසම ඉහළ අගයකි. මීට අමතරව රු. බිලියන 57.3 ක් වූ ජීවිත රක්ෂණ අරමුදල, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ මූල්‍ය පදනමේ ශක්තිමත් භාවයට සාක්ෂි දරයි.

මෙම විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵලවලට අමතරව, සාර්ථක ලෙස නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීම හේතුවෙන් යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටීමට සමත් වී තිබේ. සමාගමේ පෙරළිකාරී හඳුන්වා දීමක් වූ Clicklife App හේතුවෙන් ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් තම රක්ෂණ සහ ජීවන රටා අවශ්‍යතාවන් සපුරාගැනීමට හැකි වී ඇත. එමෙන්ම හිමිකම් ඉල්ලීම්වලින් 90% ක්ම එක් දිනක් තුළ සපුරාලීම, 100% ක්ම කඩදාසි භාවිතයෙන් තොරව රක්ෂණ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම සහ ඉතාමත් කාර්යක්ෂම ඩිජිටල් බෙදාහැරීම් ක්‍රමෝපායක් හඳුන්වා දීම වැනි සාධකද සමාගමේ සාර්ථකත්වයට බෙහෙවින් බලපා තිබේ.

“2023 පළමු කාර්තුවේදී අප පෙන්නුම් කර ඇති සුවිශේෂී ක්‍රියාකාරීත්වය මගින් පෙනී යන්නේ, අපගේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශ්වකරුවන්ට තිරසාර වටිනාකම් සහ මූල්‍ය සුරක්ෂිතතාව ලබා දීම සඳහා අප ගත් නොපසුබට උත්සාහයේ සාර්ථකත්වයයි. අපගේ මෙම කැපීපෙනෙන වර්ධනය, වෙළඳපළ තුළ අප කෙතරම් ශක්තිමත්ද යන්නට මෙන්ම වේගයෙන් දියුණු වන රක්ෂණ ක්ෂේත්‍රය තුළ උදාවන අවස්ථා ඉක්මනින් ග්‍රහණය කරගැනීමට අප සතු හැකියාවට සාක්ෂි දරනවා. අපගේ ඉදිරි ගමනට ශක්තිය දෙන ප්‍රධාන ක්‍රමෝපායික අංශයන් වන නවෝත්පාදනය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීයත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම අවධානය යොමුකිරීමට අප සූදානම්.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

“අප නවීන ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීම නිසා ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ජීවිත රක්ෂණ ලබාගැනීමට සහ ඒ සම්බන්ධ කටයුතු කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක්කිරීම සඳහා නවීනතම තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් අප බෙහෙවින් උනන්දුයි. ඩිජිටල් නවෝත්පාදනය වැළඳගැනීම තුළින්, අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් නව අවස්ථාවන් රාශියක් විවර කර දීමට අපට හැකියාව ලැබෙනවා. ඉදිරියේදීත් ඔවුන්ට විශිෂ්ටතම අත්දැකීමක් පෙළක් තිළිණ කිරීමට අප සූදානම්.” ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

“යූනියන් ඇෂුවරන්ස් සමාගම කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ට අප බෙහෙවින් කෘතඥ වනවා. 2023 වසරේ මුල් කාර්තුවේදී මේ තරම් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට අපට හැකිවුණේ ඔවුන්ගෙන් ලැබුණු සුවිශාල සහයෝගය නිසයි. එමෙන්ම මෙම සාර්ථකත්වය උදෙසා දැවැන්ත දායකත්වයක් ලබාදුන් අපගේ කාර්ය මණ්ඩලයටත් මා බෙහෙවින් ස්තූතිවන්ත වනවා. මේ ගමනේ ප්‍රධානතම ගාමක බලවේගයන් වුණේ ඔවුන්ගේ දැනුම, පළපුරුද්ද, උනන්දුව හා කැපවීමයි.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.

“ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් වෙත රක්ෂණ සේවාවන් සමීප කරවමින්, සෑම පුද්ගලයෙකුටම සහ පවුලකටම ලැබිය යුතු මූල්‍යමය රැකවරණය ඔවුන් වෙත ලබාදීමට අප කැප වී සිටිනවා. ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිපූර්ණ රක්ෂණ විසඳුම් පෙළක් අප හඳුන්වා දී ඇත්තේ, ජීවිතයේ වටිනාම දේවල්වලට නිසි රැකවරණයක් හිමි වීමේ වැදගත්කම අප හොඳින් දන්නා නිසයි. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වන ආකාරයේ ශක්තිමත් මූල්‍යමය රැකවරණක් ලබාදීම යනු අපගේ සැලසුම්වලදී අප කවදත් ප්‍රමුඛත්වය ලබා දෙන දෙයක්. ඒ වෙනුවෙන් අපගේ කැපවීම කිසි දිනක වෙනස් වන්නේ නැහැ.” සෙනත් ජයතිලක මහතා වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය යන අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ශාඛා පිහිටුවා ඇති එම සමාගමේ කාර්ය මණ්ඩලයේ සේවය කරන සංඛ්‍යාව 4,000 කට අධික ය. 2022 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වීමට අමතරව යූනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට දේශීය හා ජාත්‍යන්තර සම්මාන 15 කට අධික සංඛ්‍යාවකින් පිදුම් ලබා ඇති අතර, සිය ගනුදෙනුකරුවන්ට නව යුගයේ රක්ෂණ අත්දැකීම් ලබාදීමට නිරන්තරයෙන් කැප වී සිටී.