Wednesday, May 1, 2024

General line - 0115112241

පකිස්තාන - තලේබාන් අර්බුධයට අමෙරිකාව මැදිවෙයි




පකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ දෙරටේ ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය සඳහා අමෙරිකාව මැදිහත් වී තිබෙනවා.

ඒ අනුව ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් Karine Jean-Pierre  පැවසුවේ දෙරට අතර හටගෙන ඇති උණුසුම් තත්ත්වය  සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසයි.

අමෙරිකාවට සහ සිය හිතමිතුරු රටවලට මෙන්ම හවුල්කරුවන්ට හානි කිරීමට කැමති ත්‍රස්තවාදීන්ට ඇෆ්ගනිස්ථානය නැවත කිසි දිනෙක ආරක්ෂිත තෝතැන්නක් බවට පත් නොවන බව සහතික කිරීමට අමෙරිකාව කැපවී සිටින බව ද ඇය පවසා තිබෙනවා.

එමෙන්ම පකිස්තානය එල්ල කළ ප්‍රහාරයේදී සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ද ධවල මන්දිර ප්‍රකාශිකාව පැවසුවා.

ඇෆ්ගනිස්ථාන භූමියෙන් ත්‍රස්ත ප්‍රහාර දියත් නොකිරීමට වගබලා ගන්නා ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවයි ඇය පවසා ඇත්තේ.

ඇෆ්ගනිස්තානයේ හඳුනා ගැණුනු ත්‍රස්ත ඉලක්ක කිහිපයක් වෙත පකිස්තානය ඉකුත් දා ගුවන් ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී දරුවන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු මිය ගිය බවයි තලේබාන් පාලනය පැවසුවේ.

ඊට ප්‍රතිචාර වශයෙන් පකිස්තානයේ හමුදා මුරපලක් ඉලක්ක කර ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානය ද ශෙල් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.